මං වගේ කසඩ මහාරචාරියෙකුට මේ පඩිය ඉහටත් උඩින්.. බද්ද දෙගුණයක් කලත් කමක් නෑ..- නිර්මාල් දේවසිරි

Posted on 145 views

රජය විසින් මෙම ජනවාරි මාසයේ සිට අය කිරීම ආරම්භ කර ඇති නව ආදායම් බද්ද සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති නිර්මාල් දේවසිරි මහතා අදහස් පල කරයි.

තම මාසික වැටුප් සටහනක්ද සහිතව ඔහු විසින් සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

බදු පිළිබද මගේ මතය!!!
=============
මේ තියෙන්නෙ ගිය මාසෙ මට ගෙදර ගෙනියන්න ලැබුණු වැටුප. මේක මටනං ඉහටත් උඩිං. ලබන මාසෙ මෙකෙන් 75000ක් විතර අඩු වෙයි. ඒත් මට ෂේප් වෙන්න පුළුවන්. බදු ප්‍රශ්නෙ ගැන මාත් එක්ක පැටලෙන්න එන Upali Kohomban එක පාරක් මගෙන් ඇහුව ණය ගන්නෙ නැතුව ජීවත් වෙන හැටි කියන්න කියල. මට බැංකු ණය නැති නිසා රුපියල් ලක්ෂ එකහමාරකින් විතර ජීවත් වෙන්න පුළුවන්. අම්මයි තාත්තයි නැති වුන දාට ඒක ලක්ෂෙ දක්වා අඩු කරන්නත් පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ මං වගේ කසඩ ලොතරැයි මාහාචාරියෙකුට එහෙම වුනාට නියම මහාචාර්යවරු ඊට වඩා වැටුප් බලාපොරොත්තු වෙනව. ඒ අයට ඉන්න හොද ගෙයක් අවශ්‍යයි. ටිකක් හොදට අදින්න පළදින්න ඕනෙ. ළමයින්ට යන වියදම වැඩියි. ටිකක් මධ්‍යම පංතික මට්ටමට ජීවත් වෙන්න ඕනෙ. දැන් සාමාන්‍යෙයන් කාර් එකක් තියාගෙන හොද ගෙයක් හදාගෙන ළමයි තුන්දෙනෙක් එක්ක සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයක් ගෙවන්න මාසෙකට රුපියල් ලක්ෂ තුන හතරක්වත් ඕනෙ.

අනිත් එක මට හම්බවෙන පඩිය හම්බවෙන්න මහාචාර්ය වෙනකල් ඉන්න ඕනෙ. මම මහාචාර්ය වුනේ වයස 53දි විතර වුනත් දක්ෂයෙකුට 40න් විතර මහාචාර්ය වෙන්න පුළුවන් බව ඇත්ත. නමුත් අනිත් අයගෙ පඩිය මීට අඩුයි.

මේ නිසා උද්ධමනය වැඩි වීමත් එක්ක මේ බදු හරහා පඩිය අඩු වුනහම එවැනි මධ්‍යම පංතික ජීවිතයක් ගත කරන්න අමාරු වෙනව. එතකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු නං එක්කෝ ආණ්ඩුවට කඩේ ගිහින් තනතුරක් අරගන්න ඕනෙ. එහෙම නැත්නං ඔය එක්ස්ටර්නල් ඩිග්රි, පෝස්ට් ග්‍රැජුවෙට් ප්‍රෝග්‍රෑම් වගේ බොරු වැඩ වලින් ගාණක් කපා ගන්න ඕනෙ. එහෙම නැත්නං එන්ජීඕ එකක් අල්ලගෙන කීයක් හරි ලැබෙන කන්සල්ටන්සි එකක් වගේ දෙයක් කරන්න ඕනෙ. ඒත් ඒවට හැමොටම චාන්ස් නැහැ.

ඒ නිසා ඒ අය කළ යුත්තේ රටින් පිටවීම. මං වගේ අයට රටින් පිට ගියා කියල මේ ලැබෙන පඩිය වගේ පඩියක් ගන්න ජොබ් එකක් ගන්න හිතන්නවත් බැහැ. ඒ නිසා මං නං මේ බදු ප්‍රමාණය දෙගුණ කළත් මේ රස්සාවෙන් මළාට අයින් වෙන්නෙ නැහැ. නමුත් දැන් විශ්වවිද්‍යාලවල ඉන්න සැලකිය යුතු පිරිසකට පිටරට විශ්වවිද්‍යාලෙක මොකක් හරි හොයාගන්න පුළුවන්. ඒ අය දැනටම යනව. ඒක මං හිතන්නෙ හොද තත්වයක්.

ලංකාවට ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල අවශ්‍ය නැහැ. අවශ්‍ය වුනත් මෙච්චර ගාණක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ තියන ඒව වහල දාන්න බැරිනං මේවගෙ කොලිටි තවත් අඩුවෙලා ඒවට තියෙන සමාජ පිළිගැනීම තවත් අඩු වෙලා යන එක හොදයි. රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවට පුද්ගලික විශ්වවිද්‍යාල ඇති වීම ආර්ථික වශයෙන් ඵලදායී යි. මොකද එතකොට ඉන්දියාවෙන් චීනෙන් වගේ රටවලින් සිසුන් ගෙන්නගෙන බිස්නස් මට්ටමින් විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට පුළුවන්. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සමාජ ඉල්ලුමක් තියෙන්නෙ පහළ සමාජ පංතීන්වල තිබෙන ඉහළ යාමේ උන්නතිකාමය නිසා. ඒ අය සදහා වෘත්තීය පුහුණු ආයතන ඇති කොට ඒ සමාජ ඉල්ලුම පාලනය කරන්න පුළුවන්.

මම විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයක සාමාජිකයෙක් ලෙස සාමූහිකව මේ බදු ප්‍රතිපත්තිය විවේචනය කළත් පුද්ගලිකව මේකට කැමතියි. මං ප්‍රසිද්ධ සභාවල සමූහයේ මතය නියෝජනය කළත් මේක තමයි මගේ පුද්ගලික මතය.

මේ බදු ගැසීමට පක්ෂ කෙලෙස් නැසූ අල්පේච්ඡ ජීවිත ගත කරන උපාසක උපාසිකාවන් වගේ නෙවෙයි විශ්වවිද්‍යාලවල වැඩකරන බහුතරය. ඒ අය මේ පරිබෝජනවාදී සමාජයේ ගොදුරු වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ අය හැකි ඉක්මනින් පිටරට රැකියා සොයාගැනීමට උත්සාහ කිරීම මේ රටට විශාල සේවයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =