ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියාමනයක් නොමැති වීමෙන් කාර්යාල සේවා බස් රථ 800 ක් පමණ මගී ප්‍රවාහන සේවා ලෙසින් කොළඹට පැමිණෙන බව අනාවරණය වේ.
කාර්යාල සේවා, විශේෂ චාරිකා කාණ්ඩ යටතේ මගී ප්‍රවාහනය සඳහා කිසිදු අවසරයක් නොමැති මෙම බස් රථ අනීතික අන්දමින් මගීන් ද ප්‍රවාහනය කරන බව පෞද්ගලික බස් සංගම් චෝදනා කරයි.
උතුර, නැගෙනහිර, දකුණ, මධ්‍යම සහ සබරගමු පළාත්වල සිට රාජ්‍ය සේවකයන්, පෞද්ගලික සමාගම් සේවකයන් ප්‍රවාහනය කරමින් කාර්යාල සේවා බස් රථ ලෙසින් මෙම බස් රථ කොළඹට පැමිණෙන බවත් ඒවායෙහි පැමිණෙන බොහෝ පිරිසක් රාජ්‍ය සේවකයන් නොවන බවත් මෙම සංගම් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අපමණ ඉල්ලීම් කර ඇතත් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ පැවසීය.
කෙසේ වෙතත් අප මේ ගැන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩාගෙන් විමසීමක් කළෙමු. ඔහු සඳහන් කර සිටියේ කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ සඳහා නැවතුම්පළවල්වල නවතා මගීන් පැටවීම සිදුකළ නොහැකි බවය.
මෙම බස් රථවල ගමන් කරන කාර්යාල සේවකයන් සිය නම්, සේවා ආයතන සහ දුරකතන අංක ලැයිස්තුගත කර ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
එවැනි බස් රථ ගණනාවක් ඇතත් ඒවා නියාමනය කිරීමේ බලයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නොමැති බවත් මේ බස් රථ නියාමනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙන බවත් හෙතෙම කීවේය.